Wednesday, 15 July 2020

ඉගුරු වගාවට බලපාන රෝග හා මර්දනය

මීට කලින් ලිපියකදී අප ඉගුරු වගාවට අදාල මූලික කරුණු සාකච්ඡා කළෙමු. මෙම ලිපිය තුළින් අප සාකච්ඡා කරනු ලබන්නේ ඉගුරු වගාවට බලපාන රෝග හා ඒවා මර්දනය කරන්නේ කෙසේද කියාය. මෙහිදී අප ප්‍රධාන රෝග හා පළිබෝධ 3ක් ගැන කරුණු ගෙන එමු.


1) මෘදු කුණුවීම

පීතියම් වර්ගයේ දිලීර හෝ Pseudomonas Solanesium දිලීර නිසා මෙම මෘදු කුණුවීමේ රෝගය වැළදේ. මෙය වැළදෙන්නේ ඉගුරු පැළවල ගෙල ප්‍රදේශයටයි. මින් පසුව වායව කොටස් කහ පැහැයට හැරී රෛසෝමය මෘදු කුණුවීමකට ලක්වේ.

රෝගය පාලනය කිරීමට ක්‍රම කීපයකි. එහිදී වැදගත්ම කරුණ වන්නේ නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ක්ශේත්‍රයේ ජල වහන තත්වය දියුණු කිරීම මෙම රෝගය වැළදීමේ ප්‍රවණතාවය අඩු කරයි. දැනටමත් රෝගය වැළදී ඇති පැළ වේ නම් ඒවායේ රෛසෝම ගලවා ඉවත් කර පුළුස්සා දැමීම රෝගය පාලනය කළ හැකි තවද ආකාරයකි. තත්වය පාලනය කළ නොහැකි අවස්ථාවලදී කැප්ටාන් වැනි දිලීර නාශකයකින් වර්ග මීටරයකට ග්‍රෑම් 6ක් ඉසීම කළ හැකිය.


2) පත්‍ර අංගමාරය

Clectrotum Capsis නමැති දිලීරය විසින් මෙම පත්‍ර අංගමාර රෝගය ඇති කරනු ලබයි. පත්‍රවල දුඹුරු පැහැති කහ පුල්ලි ඇතිවේ. තත්වය පාලනය කළ නොහැකි අවස්ථා වලදී කැප්ටාන් වැනි දිලීර නාශකයක් යෙදීම කළ හැකිය.

 

3) කද විදින පණුවාගේ හානිය

මෙම පණුවා ඉගුරු පැලයේ රෛසෝමය විදීම සිදු කරයි. පසුව එම තුවාල ද්විතීයික ආසාදනවලට ලක්වී රෛසෝමය කුණුවීමට ලක්වේ. වායව සිටුවන අවස්ථාවේදීම කාබොෆියුරාන් 3% කැටවලින් හෙක්ටයාරයක් සදහා කිලෝ 17-22 යෙදීම හෝ හානිය සහිත අවස්ථාවේ Dimethete වැනි කෘමිනාශකයක් යෙදීමෙන් මෙම කද විදින පණුවා පාලනය කිරීම කළ හැකිය.

 

තවත් කියවන්න:

මෑකරල් වගාව


Tuesday, 14 July 2020

ඉගුරු වගාව නිවැරදිව සිදුකර ලක්ෂපතියෙකු වෙමු

ඉගුරු වගාව යනු මූලිකවම ආසියාව කේන්ද්‍ර කරගත් බෝගයකි. 1500 දශකයේ දේශගවේශණයත් සමග ඉගුරු සදහා යුරෝපීය වෙළදපොල තුළ දැඩි ඉල්ලුමක් ඇතිවිය. අදවනවිටද ඉගුරු සදහා ඉහළ ඉල්ලුමක් විදේශයන්හි පවතී. ලංකාව යනු ඉගුරු වගාව ඉතා සාර්ථකව කළ හැකි රටක් වන අතර නිවැරදිව එය සිදුකළහොත් ඉතා ඉහළ ආදායමක් ලැබිය හැකි ආර්ථික බෝගයකි. මෙම බෝගය චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ජැමෙයිකාව හා තායිවානය යන රටවල මහා පරිමාණයෙන් වගා කිරීම සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා අතරමැදි කලාපය ඉගුරු වගාව සදහා ඉතා උචිත වන අතර ප්‍රධාන වශයෙන් කුරුණෑගල, මහනුවර, ගම්පහ, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්ක ඒ අතර ප්‍රමුඛ වේ. මේ සදහා මුහුදු මට්ටමේ සිට උස මීටර 1500ක් දක්වා ප්‍රදේශ උචිත වේ. වාර්ෂික වර්ෂාපතනය 2000 – 3500ක් පමණ සහිත ප්‍රදේශ අවශ්‍ය වන අතර වියළි කලාපයේ ජල සම්පාදනය හොදින් කළ හැකි ප්‍රදේශවලද මේ වගාව කළ හැකිය. බෝගය සදහා වියළි කාලයේ ජල සම්පාදනය කළ යුතුය. පොල් වගාව තුළ අතුරු බෝගයක් ලෙසද වගා කළ හැකි ඉගුරු වියළි කලාපීය ගෙවතුවලද සාර්ථකව වැවිය හැකිය. තවද ඉගුරු වගාව සදහා මද ආම්ලිකතාවයිකින් යුතු හොදින් ජලය බැසයන ලෝම පසක් කදිම වේ. පසේ pH අගය 5.5 -6.5 වීම ද වැදගත් වේ.

ප්‍රධාන ප්‍රභේද දෙකකි. එනම් දේශීය වර්ගය හා චීන ප්‍රභේදය ලෙසයි. දේශීය ප්‍රභේදයේ රෛසෝම කුඩා වන අතර වැඩි තන්තුවලින් යුතුය. බහුලවම දේශීය ඖෂධ නිෂ්පාදනයේදී යොදා ගැනේ. චීන වර්ගයේ රෛසෝම විශාල වන අතර වැඩි මාංශ ගතියකින් යුතුය. දෝසි හා අනෙකුත් ආහාර සැකසීමේදි මෙම වර්ගය යොදා ගැනේ.

කන්න වගාවක් ලෙස ඉගුරු වගා කිරීමට උචිතම කාලය වන්නේ මාර්තු - මැයි කාලයයි. හෙක්ටයාරයක් පමණ වගා කිරීමට රෝපණ ද්‍රව්‍ය කිලෝ 2500 -3000 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. සිටුවීමට පෙර සෙන්ටිමීටර 25 -30 ගැඹුරට පස පෙරළා හොදින් කැට පොඩි කොට ක්ෂේත්‍රය සකසා ගත යුතු වේ. එක පාත්තියක පේළි 4ක් අඩංගු වන අතර පේළි දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 30කි. සිටුවන අල කැබලි දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 20 – 30 අතර වේ. සාමාන්‍යයෙන් අල සිටුවීම සිදුකරන්නේ වර්ෂාවේ ආරම්භයත් සමගය. සිටුවීමෙන් අනතුරුව කොහුබත්, පොල් අතු හෝ පිදුරු වැනි වසුනක් යොදා ක්ෂේත්‍ර ආවරණය ඉතා වැදගත් වේ.

පොහොර යෙදීමේදී පැළ සිටුවීමට පෙර අක්කරයකට කාබනික පොහොර කිලෝ 8ක් හා TSP කිලෝ 40ක් යෙදීම කළ යුතුවේ. පැළ සිටුවා මාසයකින් අක්කරයට යූරියා කිලෝ 26 ක් හා MOP කිලෝ 40ක් යෙදීම කළ යුතුය. මාස 3කට පසුව නැවත යූරියා කිලෝ 26ක් හා MOP කිලෝ 40ක් යෙදීම කළ යුතුවේ.

වියළි කාලයේදි හා නියං කාලවලදී සති දෙකකට වරක් ක්ෂේත්‍රය තෙත්වන ලෙස ජල සම්පාදනය කිරීම ඉතා වැදගත්ය. සෑම පොහොර යෙදීමකටම පෙර වල් මර්දනය අනිවාර්ය වන අතර මේ සදහා ඔබට උදැල්ලක් භාවිතා කළ  හැකිය.

අනෙකුත් බෝග සේම ඉගුරු වලටද වැලදෙන රෝග හා පළිබෝධ කීපයක්ම ඇත. ඒ අතර කද විදින පණු හානිය, මෘදු කුණුවීම හා පත්‍ර අංගමාරය යන ඒවා ප්‍රධාන වේ. මෙම ඉගුරු වගාවට බලපාන රෝග පිළිබදව ඉදිරි ලිපියකින් තවත් කරුණු ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

අල සිටුවා මාස 8-10 අතර කාලයකින් අස්වනු නෙලීම කළ හැකිය. වායව කොටස කහ පැහැයට හැරී මැලවී ගිය පසු අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය. අල ගැලවීම සදහා උදැල්ලක් හෝ මුල්ලුවක් භාවිතා කිරීම කළ හැකිය. සාමාන්‍යයෙන් හෙක්ටයාරයක පමණ වගාවකින් කිලෝ 10000 – 25000 පමණ අස්වැන්නක් ලැබිය හැකිය. අල කිලෝ එකක වගාවකින් සාමන්‍යයෙන් කිලෝ 15ක පමණ අස්වැන්නක් ලැබෙන නිසා මෙය අනිවාරයෙන් ඔබට ආර්ථික වාසි ලබාදෙන බෝගයක් ලෙස හැදින්විය හැකිය.

ඉගුරු වගාව නිවැරදිව කරන අයවලුන් අක්කරයක පමණ වගාවකින් රුපියල් ලක්ෂ 15 – 20 ක පමණ ලාභයක් උපයන බව නිශ්චිත වේ. සාමාන්‍යයෙන් ඉගුරු කිලෝවක මිල රුපියල් 250 -1000 අතර විහිදී යයි. කැපවීමෙන් හා මහන්සියෙන් ඉගුරු වගාව සදහා ඔබට ආයෝජනය කළ හැකිනම් එය රටේ ආර්ථිකයට මෙන්ම ඔබේ ආර්ථිකයටද ඉතා වටිනා එකක් වනු නොඅනුමානය.


Saturday, 4 April 2020

මෑකරල් වගාව සදහා නිර්දේශිත ප්‍රභේද


හවරි මෑ

මේවායේ අස්වැන්න ලැබීමට දින 60-70 ගතවේ. හෙක්ටයාරයකින් ටොන් 12ක පමණ අස්වැන්නක් ලැබිය හැකිය. ලා කොළ පැහැති කරල් වන අතර අග දම් පැහැති වේ. කරල සෙන්ටිමීටර 45-50 පමණ දිගය. මේවායේ බීජ කලු පාටින් යුතුය.

 

පොළොන් මෑ

දින 60-70 කාලයකින් අස්වැන්න නෙලා ගත හැකිවේ. හෙක්ටයාරයකින් ටොන් 12ක පමණ අස්වැන්නක් ලබාගත හැකිය. තද කොළ පැහැති කරල්වල දම් පැහැ කරල් ඇත. කරලක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 30ක් පමණ දිග අතර බීජ කලු පැල්ලම් සහිත ක්‍රීම් පාටය.

 

ගන්නෝරුව හවරි

ස ාමාන්‍යයෙන් දින 45කින් පමණ අස්වනු නෙලා ගත හැකිය. හෙක්ටයාරයකින් ටොන් 35ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. කරල ලා කොළ පැහැති වන අතර සෙන්ටිමීටර 50-55ක් පමණ දිගු වේ. බීජ රතු දුඹුරු පැහැති වේ.

 

ගන්නෝරුව A9

අස්වනු නෙළා ගැනීම සදහා දින 50-55 අතර කාලයක් ගතවේ. හෙක්ටයාරයකින් ටොන් 21-24 අස්වැන්නක් අපේක්ෂා කළ හැකිය. මෙම විශේෂය පාදස්ථ කුණුවීමේ රෝගයට ඔරොත්තු දේ. කොළ පාටැති දිග මාංශල කරලක් වන මෙහි බීජ කළු පැහැති වන අතර තද දුඹුරු පැල්ලම් වලින් යුතුවේ.

 

බී.එස් 1

දින 45-50 කාලයකින් අස්වැන්න නෙලා ගත හැකිය. ලා කොළ පැහැති කරලක් වන මේවායේ බීජ ක්‍රීම් පාටැති වේ. එසේම දුඹුරු පැල්ලම් සහිතය. හෙක්ටයාරයකින් ටොන් 10 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය.

 

සේන

දින 45-50 කාලයකින් අස්වනු නෙලා ගත හැකිවේ. හෙක්ටයාරයක වගාවකින් ටොන් 10ක පමණ අස්වැන්නක් ලැබේ. කරල් ලා කොළ පැහැති වන අතර ක්‍රීම් පාට බීජවල ලපය රතු දුඹුරු පැහැති වේ.

 

පදුරු පොළොන්

පදුරු ආකාර වේ. දින 45-50 කාලයකින් අස්වනු නෙලා ගත හැකිය. හෙක්ටයාරයකින් ටොන් 10ක පමණ අස්වැන්නක් ලැබේ. කරල කොළ පැහැයෙන් යුක්ත වන අතර දම් පැහැති පැල්ලම් සහිතය. ක්‍රීම් පාටැති බීජවල ලපය කලු පැහැති වේ.

(මූලාශ්‍ර: කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෑ වගාව PDF ඇසුරෙනි)


Friday, 3 April 2020

මෑකරල් වගාව පිළිබඳ මූලික හැදින්වීම


ෆැබේසියේ කුලයට අයත් මෑකරල් යනු ලංකාවේ තවත් ජනප්‍රිය එළවළු වගාවකි. මෙම ශාකය පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපයේ හොදින් වගා කළ හැකිය. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් දක්වා වැවීම කළ හැකිය. 20-30C අතර උෂ්ණත්වයත් PH අගය 5.6-7.0 අතර පසකුත් වගාවට ඉතාම උචිත වේ. එසේම හොදින් ජලය බැස යන වැලි ලෝම පසක් වීමද කදිමය.

මෑකරල් වැල් හා පදුරු වශයෙන් ආකාර දෙකකි. පහත දැක්වෙන්නේ නිර්දේශිත ප්‍රභේදයන් වේ.

  •  වැල් ආකාර - හවරි මෑ, පොළොන් මෑ, ගන්නෝරුව හවරි, ගන්නෝරුව A9
  • පදුරු ආකාර - බී.එස් 1, සේන, පදුරු පොළොන්

මෑකරල් වගාව සදහා බිම් සකස් කිරීමේදී සෙන්ටිමීටර් 15-20 ගැඹුරට පස පෙරලා කැට පොඩි කිරීම අත්‍යවශ්‍යය. ඔබ අහස් දියෙන් වගා කරන්නේ නම් සමතලා උස් පාත්තිවල වගා කිරීම උචිතය. ජල සම්පාදනය තුලින් වගා කරන්නේ නම් වැටි සහ කානු ක්‍රමය යොදා ගැනීම උචිත වේ.

පදුරු ආකාරය සදහා හෙක්ටයාරයකට ටොන් 17-20 අතර බීජ අවශ්‍ය වන අතර වැල් ආකාරය සදහා හෙක්ටයාරයකට ටොන් 16-20 අතර බීජ අවශ්‍ය වේ.

(මූලාශ්‍ර - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෑකරල් වගාව Pdf 2017 ඇසුරෙනි)